Breaking News
Loading...
July 17, 2012

Info Post
ඌ මගේ කණෙන් කෑල්ලක්‌ කඩා ගත්තා. අත් දෙකම සපා කෑවා. උගේ බාවෙන් මට පහරපිට පහර දුන්නා.
ඇත්බටුව කොරකහවල නිවසකට මහ දවල් කඩාවැදුණු කබරගොයකු සාලයේ රූපවාහිනී බලමින් සිටි අයකු ගිල දැමීමට උත්සාහ කර තිබේ.

කබරයා සමඟ සටන් කර දිවි බේරාගත් නිවැසියා බරපතළ තුවාල ලැබීමෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ කබරයාගේ ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ 70 හැවිරිදි ඒ. ඩබ්. සිරිසේන නමැති ගොවි මහතෙකි.

පසුගිය 13 දා දවල් 12.30 ට පමණ නිවසේ තනිව සිටි සිරිසේන මහතා සාලයේ පුටුවක්‌ මත රූපවාහිනිය නරඹමින් සිටියදී මේ කබර ප්‍රහාරයට ලක්‌ වී තිබේ. ගෙට ඇතුළු වූ කබරයා එක්‌වරම ඔහු වෙත කඩා පැන ඔහුගේ හිස ගිලීමට උත්සාහ දරා ඇත.

මේ පිළිබඳව විස්‌තර කළ සිරිසේන මහතා...

කබරයා මගේ ඔළුව ඇල්ලුවාම මම ඌත් එක්‌ක පොර බැදුවා. පසුව ඌ මගේ කණ කටින් අල්ලා ගත්තා. කණ බේරා ගැනීමට මම උගේ කට ඇතුළට අත දැම්මා. ඒත් උගේ කට අරවා ගන්න බැරිවුණා. අනිත් අතත් උගේ කට ඇතුළට දැම්මා. ඊට පස්‌සෙ ඌ මගේ කණෙන් කෑල්ලක්‌ කඩා ගත්තා. අත් දෙකම සපා කෑවා. උගේ බාවෙන් මට පහරපිට පහර දුන්නා. අත්පාවලින් මගේ ඇඟ පුරාම සීරුවා. ටික වෙලාවකට පසු මම ඌ මෙල්ලකර එළියට ඇදගෙන ගියා.

කබර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිරිසේන මහතා අඟුණකොලපැලැස්‌ස දිසා රෝහලේදී මූලික ප්‍රතිකාර කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට යවන බව අඟුණකොළපැලැස්‌ස දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි තිලක්‌ නෙළුම්දෙණිය මහතා කීවේය.