Breaking News
Loading...
July 17, 2012

Info Post
පිඹුරා බල්ලන් 20 ක්‌ ගොදුරු කරගෙන...

අඩි එකොළහක්‌ පමණ දිග පිඹුරෙකු කූඩුවක සිටි බල්ලෙකු පැහැරගෙන ගොස්‌ ගොදුරු කර ගන්නා අවස්‌ථාවේ අල්ලා ගැනීමට අහුන් ගල්ලේ බෝගහපිටිය ප්‍රදේශවාසීන්ට හැකිවිය.

අහුන්ගල්ල බෝගහපිටියේ කේ. අනුර ද සොයිසා මහතාගේ නිවසට යාබද කුරුඳු ඉඩමේ සිටියදී මෙම විශාල පිඹුරා කඹයකින් බැඳ අල්ලාගෙන තිබේ. ඒ වනවිට නිවැසියාගේ "පනී" නමැති සුනඛයා පිඹුරාගේ ග්‍රහණයට හසුවී මිය ගොස්‌ තිබිණි.

මෙම පුවත සැලවී 14 දා උදෑසන සිටම පිඹුරාගේ වැරදුණු කුරුමාණම බැලීමට ජනතාව එම ස්‌ථානයට එක්‌රොක්‌වී සිටියහ.

පුරන්ව පවතින අක්‌කර 550 ක්‌ පමණ වන කරඡ්ජපිටිය වෙල්යායට යාබදව මෙම ගම්මානය පිහිටා තිබේ. ලඳු කැලෑ සහිත මෙම ප්‍රදේශයේ පිහිටි නිවාස සමීපයේම කුරුඳු සරුවට වවා ඇත. මේ ආශ්‍රිතව පිඹුරන් වෙනත් විෂකුරු සර්පයින් සිටින බව ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙම පිඹුරා බෝගහපිටිය ප්‍රදේශයේ නිවාසවල ඇති කළ බල්ලන් 20 ක්‌ පමණ ගොදුරු කර ගන්නට ඇතැයි ගම්වාසීහු පවසති. විටින් විට පිඹුරන් ගැවසෙන බව වනජීවී නිලධාරීන්ට දැන්වුවද ඒ ගැන කිසිම නිලධාරියකු උනන්දු නොවූ බව ගම්වාසීහු චෝදනා කරති.

ඒ ගැන තොරතුරු හෙළි කළ ඒ. ගුණසේන ද සොයිසා මහතා මෙසේ කීවේය.

අපේ ගෙවල්වල කිරි සප්පයෝ, වගේම තාමත් පාසල් නොයන කුඩා දරුවන් ඉන්නවා. මීට පෙරත් අපි දැවැන්ත පිඹුරෙක්‌ ඇල්ලුවා. පොලිසියටත් වන ජීවී නිලධාරින්ටත් කීවා. මං දවස්‌ දෙකහමාරක්‌ පිඹුරා තියාගෙන නිදිමැරුවා. කිසිකෙනෙක්‌ ආවේ නැහැ. මේ පිඹුරා ගැනත් අප කීවා. එහෙම වේවිද දන්නේ නැහැ.

කලින් අපි අල්ලපු පිඹුරා කවුදෝ කට්‌ටියක්‌ හොරකම් කරගෙන ගොස්‌ තිබිණා. අපට ආරංචි වුණේ අහුන්ගල්ල සත්තුවත්තට විකුණලා කියලා. ඒකේ ඇත්ත නැත්ත කොහොම වුනත් රෑ බැරල් එකේ හිටි පිඹුරා උදේ වනවිට හිටියේ නැහැ.

ඊයේ අල්ලාගත් පිඹුරා අඩි 11 ක්‌ පමණ දිගය. පිඹුරා නැරඹීම සඳහා විශාල පිරිසක්‌ එම ස්‌ථානයට පැමිණෙමින් සිටියහ. වනජීවී දෙපාර්තමේන්තුවට ද ගම්වාසීහු මෙම සිද්ධිය සැල කරනු දක්‌නට ලැබිණි.