Breaking News
Loading...
July 3, 2012

Info Post
මොහු නමින් සේපාල ඒකනායක. මීට හරියටම අදට අවුරුදු 30ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගනිමින් මුළු ලෝකයේම අවධානය පැය 30ක් තමන් වෙත රඳවා  ගත් එකම ශ්‍රී ලාංකිකයා.

සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා. මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. ඔහු පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට. අවුරුදු 15 දි විතර නිවසින් වෙන්ව ඔහු කොළඹ ට පැමිණියා.

ඔහුගේ අනාගතය ඵලදායී එකක් කර ගැනීම ඔහු මහත් උත්සාහයක් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු නතර වුනේ ජර්මනියට ගිහින්. ඒ 1972. එහිදී ඔහුට ලෙන්ගතුකමින් මිතුදම් වර්ධනය කර ගැනීමට ඉතාලි තරුණියක් හමු වෙනවා. ඇය ඇනා ඇල්ද්‍රොවන්දි. ඔවුන් දෙදෙනා 1977 දී විවාහ ගිවිස ගන්නවා. පසුව 1980 දී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචියට යනවා. එහිදී ඉපදෙන පුතාට ඔවුන් "ෆ්‍රී ඒකනායක" ලෙසින් නම් තබනවා.

මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට ගොස් වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු කීහිප විටක් ම උත්සාහ කරනු ලැබූවා. එනමුත් වීසා ලබා ගැනීමට ඔහුට නොහැකි වෙනවා.

තමන්ට ආදරය කරන තම ආදරණීය බිරිඳ සහ තමන්ගේ ලෙයින් හැදුන තම කුළුඳුල් දරුවා "ෆ්‍රී" ඉතාලියේ මෙතරම් කාලයක් තනි කර දමන්නට සේපාල ඒකනායකගේ හදවතේ කකියන ලේ ඉඩ දුන්නේ නැහැ. ඔහු වහාම උද්වේගකර තීරණයක් ගනු ලැබුවා.  ඉතාලි ගුවන් යානයක් තමා යටතට ගෙන ඒ හරහා අදාළ ඉල්ලීම කරන්න. ඔහු හමුවේ පැන නගින ගැටලු හා අවධානම ගැන ඔහු කිසිසේත් මායිම් කලේ නැහැ. ඔහුගේ එකම බලාපොරොත්තුව වුනේ තම ආදරණීය බිරිඳ හා දරුවා සමග විසීමයි.

ඒ අනුව 1982 ජූනි 30 ඔහු ඉන්දියාවේ නව දිල්ලියට ගියා. එහිදී ඉතාලියේ සිට ඉන්දියාව හා බැංකොක් හරහා ටෝකියෝ බලා යන “අලිටාලියා“ ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට නැගී පසුපෙලේ අසුනක ඉඳගත්තා. මෙම ගුවන් යානයේ මගීන් 340 ක් සිටියා.

ගුවන් යානය ගුවන් ගත වී අඩි 35000 ක් පමණ උසකට පැමිණ ස්ථායි වූ පසු සේපාල ගුවන් නියමුවා වෙත ලිපියක් යවමින් තම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූවා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ පුතා සහ බිරිඳ බැංකොක් ගුවන් තොටුපළට ගෙනවිත් දීම. දෙවැන්න වුණේ ඩොලර් 300,000/- මුදලක් කප්පම් වශයෙන් ලබා දීම. මීට අමතරව ඔහුගේ ලිපියේ පහත කරුණුත් සඳහන් වුණා.

“මෙම ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි. සියළු දොරවල් විවෘත නොකළ යුතුයි.සියළුම ඉල්ලීම් බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත වහාම දැනුම් දිය යුතුයි. සියළු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් විය යුතුයි. දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ ඇති අතර යම් හෙයකින් අපව මුලා කළ හොත් යානය සියළු මගීන් සමග එම බෝම්බ උපයෝගී කරගෙන පුපුරුවා හරිනු ලබන අතර ඊට සමගාමීව ඉතාලියේ මොඩෙනා නගරයේ සහ වෙනත් නගරයක ද පිපිරීම් සිදු කරනු ඇත.“

සේපාලගේ ලිපිය දුටු විගස ප්‍රධාන නියමු ජියෝර්ගෝ අමරෝසා ගුවන් යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබූවා. ඒ විනාශය අවම කරන්න.

පැය කීපයකට පසුව ඔහු ඉල්ලා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉල්ලූ කප්පම් මුදලත් බැංකොක් වෙත ගෙන එන බවට තොරතුරු ලැබුණා. පැය 30 ට පමණ පසු ඔවුන් බැංකොක් වෙත පැමිණියා. ඉන්පසුව ගුවන් යානයේ සිටි සියලු මගීන් මුදා හරනු ලැබුවා. ලෝක වාසීන්ගේ අවධානය යොමු වූ මෙම ගතවූ පැය 30 ක කාලය නිමාවට පත් කරමින් සේපාල ඒකනායක ගුවන් යානයෙන් පිටතට පැමිණියා.

සේපාල ඒකනායකට ගැටළුවක් මතු වුණා. දරුවාත් බිරිදත් මුදලුත් රැගෙන යන්නේ කුමන ස්ථානයට ද කියා ඔහු කල්පනා කලා. මේ අවස්ථාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මානෙල් අබේසේකර මහත්මිය පැමිණ ඔහුට බිය නොවන ලෙසත් ඔහුට ශ්‍රී ලංකාවට යා හැකි බවත් සදහන් කළා.

මේ වනවිට ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එසේ නොකරන ලෙසයි. මෙහිදී ජේ. ආර්. ජයවර්ධන රජය උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දුන්නා. පසුව ගාල්ල පොලීසිය විසින් සේපාල ව අත් අඩංගුවට ගෙන වැලිකඩ සිරගෙයට ගෙන එනු ලැබූවා. මේ අතර සේපාලගේ බිරිද සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර්යාලය කටයුතු කලා.

සේපාල ඒකනායක අත් අඩංගුවට ගත්ත ද ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීති එවකට තිබුණේ නැහැ. එබැවින් අළුතින් ම නීති සම්පාදනය කරන්න රජයට සිදු වුණා. ඒක තමා ලාංකීය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය. සේපාල ගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා මහතා ද සාක්ෂි සදහා ශ්‍රී ලංකාවට පැමැණියා.

නඩු විභාගය අවසානයේදී සේපාල ඒකනායකට ගුවන් යානයක් පැහැරගත් වරදට වසර 5 ක සිර දඬුවම් නියමු වුනා. ඔහුට නිදහස ලැබුනේ 1987 වසරේදීයි.